මෙත් ගලනා පිං බිම්

අභයරතනාලංකාර හිමියන් වැඩ සිටි විහාරයන්

වහරක අරිය චින්තාශ්‍රම බොදු සෙනසුන

අප මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධියේ ලෝක සත්වයා හට, තමන් වහන්සේ විසින් වටහාගත් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම උදෙසා මෙන්ම, භික්ෂු භික්ෂුණින් වහන්සේලාගේ නිවන්ම අවබෝධ කරගැනීම සඳහා සැකසුනාවූ පුජනීය පුදබිම් අතිවිශාල ප්‍රමාණයක් ලොව පුරා අදටත් පැතිර පවත්නේය.

සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් එදා ජය ශ්‍රී මහා බෝධි මූලයේදී චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් බුද්ධත්වයට පත් වූ සේක. කිසිදු ගුරුවරයකුගේ මඟ පෙන්වීමකින් තොරව තමන් වහන්සේ විසින්ම වටහාගත් අති උතුම් ශ්‍රී සද්ධර්මය ලෝක සත්වයා කෙරෙහි උපන්නාවූ මහත් දයානුකම්පාව හේතු කොටගෙන මේ භයංකාර සසරෙන් ඔවුන් මුදවා නිවන්මඟ පූර්ණය කරගැනීමට මාර්ගය සලසමින් ධර්මය අවබෝධ කරගත් මහා සංඝරත්නය හැට නමක් මාර්ගයෙන් ප්‍රථම ධර්ම ප්‍රචාරය ආරම්භ කළ සේක.

නිවන අවබෝධ කරහැකි දේශනාවක්, අප මහා බුදු පියාණන් වහන්සේගේ බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේට කළ නොහැකි වූ බව සම්බුද්ධ දේශනාවේම සඳහන් වේ.

බොදුනුවන්ගේ සිත් තුළින් නිවන නමැති අමාසුවය ගිලිහිගොස් ලෞකික සැප සම්පත් පසුපසම ඔවුන් හමා යන්නේ නිවන් දකින්නට තරම් පිං මේ භවය තුළ තම තමන් සතුව නොමැති යැයි පොදු මතයක පිහිටමිණි. මෙම හේතුව නිසා මතු සංසාර ගමන තුළ දී නිවන් දැකීමට දරන උත්සාහයක් බොහෝ බොඳුනුවන්ගෙන් පෙන්නුම්කෙරේ. එසේ නමුත් මෙම පින්වතුන් අතරින් සසර දුකින් මිදීමට හේතු වාසනා ඇති පිරිස සත්‍ය අවබෝධය ලබනතෙක්ම නොනවත්වා කලණ මිතුරු ඇසුර සොයමින් දහම් ඇස විවර කර ගැනීමට ප්‍රයත්න දරයි.

බොදුනුවන්ගේ කලණ මිතුරු ඇසුරක් තුළින් දහම් මග වැඩීමට සුදුසුම පරිසරයක් සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්ක මායිමේ පිහිටි වහරක ගෝනගල්දෙණිය නම් ගම්මානයේ සුන්දර මෙන්ම නිස්කලංක පරිසරයක පිහිටා ඇති “වහරක අරිය චින්තාශ්‍රම බෞද්ධ විහාරස්ථානය” තුළ නිර්මාණය වී තිබේ. සතර දිගින් පැමිණෙන පින්වත් දායක පිරිස් වල දායකත්වයෙන්ම ඉදි වෙමි න්පවතින මෙම පුණ්‍ය භුමිය තුළ දී ඔබට‍ ශ්‍රවණය කිරීමට ලැබෙන සදහම් දේශනා තුලින් නිවන්මග ඇහිරී නොමැතිබව මනාකොට ප්‍රත්‍යක්ෂ වනු නොවනුමානය.

අප මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා හට මහා දයානුකම්පාවෙන් තුන් කල් හිම නොවෙනස්ව විද්‍යාමාන වන ලෙසින් කරන ලද්දාවූ සද්ධර්ම දේශනා මඟින්, මේ භවය තුළදීම නිවන නැමැති අමා සුවයේ දොරටුව විවර කරගැනීමේ මාර්ගය පෙන්වන අති උතුම් ක්‍රියාවලිය සිදුකරනු ලබනුයේ, වහරක ගමේ මෙම ස්ථානයේ ඉපිද හැදී වැඩුණු ගරු පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමින් වහන්සේ විසිනි. අවිද්‍යා අන්ධකාරය දුරු කිරීමට බුදු පියාණන් වහන්සේ විසින් දැල්වූ ප්‍රඥා ආලෝකය වහරක හිමිපාණෝ වහරක ගමටද, රටටද, ලොවටද, සියළු ලෝක වලටද විහිදුවන්නේය.

සම්මත බෞද්ධ විහාරස්ථානයක තිබෙන්නාවූ අංග සුවිශේෂී ආකාරයට නිමකර ඇති අතර ඒ සියල්ල ත්‍රිවිධ රත්නය කෙරෙහි අසීමිත චිත්ත ප්‍රසාදයක් නැඟෙන ආකාරයට මෙන්ම, අසීමිත ආශීර්වාදයක් ලබාගත හැකි ආකාරයට මෙම පිං බිම තුළ සකසා ඇත.

රමණීය කඳු වළල්ලකට මැදි වූ වහරක කුඩා ගම්මානයේ කඳු ගැටයක මෙම පිං බිම පිහිටා ඇත. මෙහි පැමිණෙන පින්වතුන් හට පහන් සිතින් වන්දනාමාන කිරීමට ස්වර්ණ වර්ණ චෛත්‍ය රජයාණන් වහන්සේ, ජය ශ්‍රී මහ බෝධි ශාඛා රාජයාණන් වහන්සේ මෙන්ම අලංකාර බුද්ධ මන්දීරය ද මෙම පිං බිමේ ඉහළින්ම, අති මහත් ගෞරවනීය අකාරයක් ගෙනෙන ලෙසට ඉදි කර ඇත. සදහම් වැඩසටහන් සඳහා සහභාගීවන දහස්ගණන් උපාසක උපස්සිකාවන් සඳහා වූ සියලු පහසුකම් මෙම පිං බිම තුළ මනාව සකස්කර ඇත.

දහම් පිපාසිත සාදු ජනයාගේ දහම් පවස නිවාලමින් නිවන් මග මේ යැයි දේශනා කරන ගරු පුජ්‍යපාද වහරක අභයරතනාලංකාර හිමියන්ගේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට සිවු දෙසින් පැමිණෙන වාසනාවන්ත දහස් ගණනක් වූ පින්වතුන් මෙම පුදබිමට එක්රොක් වීම බුද්ධ සාසනයේ අසිරිය හා සද්ධර්මය සතු බලය සිහිපත් කිරීමක්ම වන්නේමය. බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩසිට දහම් දේශනා කරන කාලයේදී, ධර්ම අවබෝධය ලබන පින්වත් පිරිස කලණ වැටේ අවසාන පුරුක නොවී තමන් ලද අවබෝධය අන් අයටත් මහා දයානුකම්පාවෙන් දේශනාකරන ලද අතර එසේ කරගත නොහැකි අවස්ථාවල සද්ධර්මය දේශනා කළහැකි දේශකයාණන් වහන්සේ නමක් ලඟට හෝ බුදු පියාණන් වහන්සේ අභියසට යොමු කරන ලදී. එසේ ධර්මය දේශනා කළහැකි දේශකයාණන් වහන්සේලා හමුවට ගොස් දහම් අවබෝධය ලද පිරිස් නිසාම දහම………. දිනෙන් දින මෙම පුදබිමට වාසනාවන්ත පින්වත් පිරිස් එකරැස් වනවිට සම්බුද්ධ සාසනය තවමත් ජීවමාන බවත් නිවන එතරම් දුරක නොවන බවත් අවබෝධ වෙයි.

සියලු ලෝක සියලු සත්වයෝම කලණ මිතුරු ඇසුරට යොමු වේවා, අමා මහා නිවන් ශාන්තියටම පත්වේවා.!!!.


අනුරාධපුර ගල්කඩවල අරිය චින්තාශ්‍රම බොදු සෙනසුන

ඓතිහාසික අනුරපුර රාජධානියේ සුන්දර තිසා වැව අභිමුවෙන් දිවයන විලච්චිය නොහොත් තන්තිරිමලය පාරේ 03 වන සැතපුම් කණුවෙන් වමට බාලදක්ෂ මාවතේ කිලෝ මීටරයක් දුරින්, එහෙම නැත්නම් වට වන්දනා පාරේ අභයගිරිය, ලංකාරාමය පසු කළ විට හමුවන කටුකැලියාව මංසන්ධියෙන් වමට හැරී කිලෝමීටරයක් ගිය තැන ඉතාමත් සුන්දර ගම්මානයක පිහිටියා වූ අරිය චින්තාශ්‍රම බොදු සෙනසුනට පිවිසිය හැක.

එම ගම්මානයටත් උතුරු මැද, උතුර හා නැගෙනහිර ප්‍රදේශයටත් ඇති සැබෑ දහම් පිපාසය සන්සිඳුවාලීම අරමුණු කරගෙන රට මැදට වන්නට මෙම සාසන භූමිය පිහිටුවා ඇත. බැලූ බැලූ අත පෙනෙන වෙහෙර විහාර රාශියකින් සමන්විත එම ප්‍රදේශයේ නැවත වරක් නිර්මල බුදු දහම විද්‍යාමාන වීම අප ලැබූ මහත් භාග්‍යයක් වේ.

අක්කර 05 ක පමණ මූලික වපසරියක් දානපති යුවලක් විසින් 2015 වසරේ දී පූජා කරන්නට යෙදුන අතර ඉදි කිරීම් කටයුතු මූලික අදියර 03 ක් යටතේ පිංවත් ඔබගේ සාසනාධාර ලැබෙන ආකාරයෙන් මේ වන විට සිදුවෙමින් පවතී.

පළමු අදියර යටතේ අප ගුරු දේව උත්තමයාණන් වන වහරක අභරතනාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ආවාස කුටියත් අනෙකුත් බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලා උදෙසා වන කුටි පද්ධතියත් ඉදිවෙමින් පවතී. දෙවන අදියර යටතේ වර්ග අඩි 7000 ක පමණ සුවිසල් ධර්ම ශාලාවක් හා අනෙකුත් වෙහෙර විහාර ඉදිකිරීමට නියමිතව ඇත. තෙවන අදියර යටතේ විශ්‍රාම ශාලා පද්ධතියක් ඉදිකිරීමට නියමිතව ඇත.

මේ වන විටත් පිහිටුවා ඇති “අරි සිතුම් දම් මැදුර” තුළින් වහරක ප්‍රකාශන මෙන්ම සංයුක්ත තැටි ආදිය නිෂ්පාදන වියදමට පමණක් මිලට ගැනීමට (ලාභ නොලබන බැවින්) අවස්ථාව සලසා දී ඇත.

මෙම පිං බිමට පිවිසෙන ඔබට පසලොස්වක පොහෝ දින සීල සමාදානයට වගේම ඕනෑම දිනයක කැමති වේලාවක පැමිණ එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේලා මගින් දහම් ගැටළුවලට විසඳුම් ලබා ගැනීමට අවස්ථාව ද සලසා දී ඇත.

ඕනෑම ජාතියක, ආගමක, කුලයක අයෙකුට “රට, ජාතිය, සාමය” යන තේමාව යටතේ එක්ව කටයුතු කරමින් දහම් ගැටළු විසඳාගනිමින් උතුම් නිවන් මඟට පිළිපන් එකම ජන කොටසක් ලෙස කටයුතු කිරීමට මෙම පුණ්‍ය භූමිය ඉදිරි කාලයේ දී මනා පිටිවහලක් වනු දැකීම අපගේ එකම සාසන පැතුමයි.......///